ගම්සභා සංක්ෂිප්ත ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පලාත් පාලන ආයතන වන්නේ මහ නගර සභා , නගර සභා සහ ප්‍රාදේශීය සභා ආයතනයන්ය. ඒවා පාර්ලිමේන්තුව මගින් පනවන අණ පනත් වලට අනුව රජයේ සහ ජනතාවගේ සහභාගිත්වය ඇතිව ප්‍රජාතාන්ත්‍රික වගකීම දරමින් සේවා සැපයීමේ නිරතව සිටිති.
ආර්යයන් ගේ පැමිණීමෙන් පසු මෙරට ඇතිවූ ග්‍රාමසභා ක්‍රමය පසුව ගම්සභා බවට පරිවර්ථනය විය. ඒවායින් ජනතාවගේ පරිහරණයට ස්වභාවික සම්පත් සුරැකීමේ මහගු මෙහෙවරක් එදා සිදුවිය. 1818 දී ඇතිවූ වෙල්ලස්ස කැරැල්ලෙන් පසුව ඉංග්‍රිසීන් විසින් පනවන ලද ඌව ප්‍රකාශනයත් සමග මෙරට ගම් සභා ක්‍රමය ද කෙමෙන් පිරිහීමට පත්විය. ගම්කාර්ය සභා ඇතිවී තිබෙන්නේ 1930 සහ 1931 යන වර්ෂයන්හිදීය. එතෙක් මෙරට ක්‍රියාත්මකව තිබූ ගම්සභාවල පැවති ඇතැම් ලක්ෂණ පසුව ඇතිවූ ගම්කාර්ය සභාවන්හි ද දක්නට ලැබිණි. වත්මන් ප්‍රාදේශීය සභාවල පැරණි ස්වරූපය වන්නේ ද ගම්සභාවයි
1920 දී පලාත් පාලන ආඥා පනත අනුව ග්‍රාමීය දිස්ත්‍රික්ක සභා පිහිටුවිමට නියමිත විය. එය එතෙක් පැවති ගම්කාර්ය සභා පැවැත්මට බලපෑමක් විය හැකියැයි සිතූ එකල ජාතික නායකයෝ පලාත්පාලන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා උද්ගෝෂණ කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් 1920 දී සහ 1924 දී ප්‍රතිසංස්කරණ දෙකක් ලබා දුන් නමුත් මෙරට නායකයෝ ඉන් සෑහීමකට පත්වූයේ නැත. මේ නිසා පලාත් පාලන ක්ෂෙත්‍රයේ දී ලැබී තිබූ බලතල තව තවත් පුළුල් කර ගැනීමට ඔවුහු තව තවත් උද්ගෝෂණ කළහ. ඒ සදහා සමස්ථ ලංකා ගම්සභා සම්මේලනය පිහිටුවා ගත්හ.
ගම්පාලනය සම්බන්ධයෙන් බලතල දිනා ගැනීම සදහා ගම්සභා සාමාජිකයින් එකතුවී උද්ගෝෂණ ආරම්භ කළේ 1924 ග්‍රාමීය ප්‍රජාව පිළිබද පනත ගෙන ඒමටත් පෙරය. ඒ රයිගම් කෝරලයෙනි.
එකල ගම්කාර්ය සභාවල නියෝජිතයින් තෝරන ලද්දේ ප්‍රදේශයේ ඉඩම්හිමි පදිංචිකරුවන්ගේ ඡන්දයෙනි. එහෙත් ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ අත් එසවීමෙනි. කවර ආකාරයකින් හෝ තමන්ගේ පිලේ පිරිස වැඩිකරගත් පුද්ගලයා ජයග්‍රහණය කළේය. මෙයින් ගම්වැසියන්ගේ අවංක කැමැත්ත ප්‍රකාශවූයේ නැත. බොහෝ විට පත්වූයේ මුදලිවරුන්ගේ හා රටේ මහත්තුරුන්ගේ වැනි බලය ඇති පුද්ගලයින්ගේ නියෝජිතයින්ය. ඔවුන් ඒජන්තවරුන් සමග හිතවත් අය වූයෙන් ඔවුනට විරුද්ධව පැමිණිළි කිරීමට කිසිවෙකුට අවස්ථාව ලැබුණේ නැත. 1871 පනතින් තමන්ට ලබා දී තිබූ බලතල ගැනවත් ජනතාව දැනුවත් වීමද සිදු නොවීය.
1923 දී රයිගම් කෝරලයේ ගම්සභා කිහිපයක් සදහා මුදලිවරුන් නම් කරන ලද නියෝජිතයින් පරාද කරමින් සාමාන්‍ය ජනතාව අතරින් ඉදිරිපත් කළ නියෝජිතයින් කිහිපදෙනෙක් ජයග්‍රහණය කරවීමට ජනතාව සමත් වූහ. රයිගම් කෝරලයේ ඇතිවූ මේ ප්‍රබෝධය රට පුරා පැතිරිණි. මේ නිසා 1924 ග්‍රාමීය ප්‍රජාව පිළිබද පනත ක්‍රියාත්මක වන විට රටපුරා මුදලිවරුන්ගෙන් පිරීතුබූ ගම්සභා සාමාන්‍ය ජනතාවගෙන් පිරීයන්නට විය. එයින් කෝපාවිෂ්ඨ වූ මුදලිවරු ජනතාවට තර්ජනය කරන්නට පටන් ගත්හ. පුවත්පත් කිහිපයක් ද මේ සදහා උදව් කළහ. එම ගම්කාර්ය සභාවල නියෝජිතයින් පමණක් නොව සභාපතිවරුන් ද සාමාන්‍ය ජනතාව අතරින් තෝරා ගැනීමට ජනතාව සමත්විය.
1932 පමණ වන විට ගම්කාර්ය සභා 122 ක පමණ සභාපතිවරු මෙලෙස ජනතා ජන්දයෙන් තෝරා ගත්කර ගැනීමට ජනතාව සමත්විය.
1924 පනතින් ගම්කාර්ය සභාවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ජනතාවට ලැබී තිබූ බලතල භාවිතය වැළැක්වීමට නිලධාරින් සහ ගම්මුලාදෑනින් ක්‍රියාත්මක විය. එහෙත් රයිගම් ප්‍රබෝධය යටපත් කළ නොහැකි විය. ගම්මුලෑදෑනින්ගේ ක්‍රියාකලාපයට විරුද්ධ විම සදහාත් ගම්කාර්ය සභාවල බලතල වැඩිකරගැනීම සදහාත් සියලු ගම්කාර්ය සභාඑක්විය යුතු යැයි මුලින්ම අදහසක් ඉදිරිපත් කරන ලද්දේ පානදුරේ තල්පිටිබද්ද ගම්කාර්යසභාවය. 1924 දී පානදුරේ මාලමුල්ල බෞද්ධ මිශ්‍ර පාසැලේදී ඉතා සුළුවෙන් පිහිටුවාගත් සංවිධානයේ සභාපත් වූයේ ආතර් වී දියෙස් මහතාය. 1925 වන විට සමස්ථ ලංකා ගම්සභා සම්මේලනය පිහිටුවා ගැනීමට ඔවුහු සමත් විය. ප්‍රථම සම්මේලනය පැවතියේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ දීය.
මෙරට පලාත් පාලන ක්‍රමය වත්මන් ස්වරූපයෙන් ආරම්භ කරන්නේ ඉංග්‍රීසි ජාතිකයින්ය. ඒ 1865 දී මෙරට මහ නගර සභා පිහිටුවීමත් සමගය. එංගලන්තයේ ක්‍රියාත්මක වූ කවුන්ටි කවුන්සිල්(County Council), කවුන්ටි බරෝ(County Borough), පැරිෂ් කවුන්සිල් (Parish Council) වැනි ප්‍රාදේශීය මණ්ඩලවල ස්වරූපය මෙරට ඇතිකළ නගර සභාවල ද පැවතිණි. එරට එම ආයතනවලින් සිදුකළ පාලනය ලෝකල් ගවර්මන්ට්(Local Government-පලාත් පාලනය) වශයෙන් හැදින් වූ අතර ඔවුහු අප රටේ පාලන ක්‍රමයටද ඒ නම භාවිත කළහ. 1920 දී අංක 11 දරණ පලාත් පාලන ආඥා පනත (Local Government Ordinance) නීති ගත කරන ලදී. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභා සභා යටතේ පිහිටවූ දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය එසේ නම් කිරීමත් සමග ‘‘Local Government’’ යන්න ‘‘පලාත් පාලනය’’ ලෙස භාවිතයට එක්විය. රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇරඹීමෙන් පසු මෙරට ප්‍රථම පලාත් පාලන අමාත්‍යවරයා වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි. පලාත් පාලනයේ ප්‍රගමනය වෙනුවෙන් එතුමා කළ සේවාව කිසිවෙකුට සම කළ නොහැක. එතුමා ගෙන් පසුව පලාත් පාලනයට දැවැන්ත සේවාවක් ඉටු කරන ලද්දේ ආර්. ප්‍රේමදාස මහතාය.

රයිගම් කෝරලය

බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියන රයිගම් කෝරලය වර්ග සැතපුම් එකසිය හතලිහක පමණ ක්ෂේත්‍රයක පැතිර පවතී. සල්පිටි කෝරලය , හේවාගම් කෝරලය , කුරුවිටි කෝරලය, කුකුළු කෝරලය හා පස්දුන් කෝරලය යන කෝරලවලට මායිම්ව පිහිටා ඇත. රයිගම් කෝරලය පත්තු හතරකින් සමන්විතය. ඒ අධිකාරි පත්තුව , කුඹුක පත්තුව, රයිගම් උඩුගහ පත්තුව සහ මුංවත්ත බාගෙ පත්තුව වශයෙනි.
කුඹුක පත්තුව සහ උඩුගහ පත්තුව එකතු කිරීමෙන් වත්මන් හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සැදී ඇත. හොරණ සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ වන්නේද එම බල ප්‍රදේශයන්මය. 1945 දී පමණ හොරණ නගර සභාව පිහිටුවා ඇති අතර ඒ කුඹුක පත්තු බල ප්‍රදේශයෙන් කොටසක් වෙන්කර ගැනීමෙනි.
අතීතයේ ඉහත සදහන් කළ පත්තුවලට වෙන් වෙන් වශයෙන් ගම්කාර්ය සභා තිබී ඇති අතර විශාලත්වය හේතු කොට ගෙන මුංවත්තබාගෙ පත්තුවට පමණක් උතුර දකුණ වශයෙන් ගම් කාර්ය සභා දෙකක් තිබී ඇත.
එකල අද මෙන් අපේක්ෂකයින් තෝරා ගැනිමට ඡන්ද ක්‍රමයක් නොපැවති අතර වැඩි පිරිසක් ගෙන්වා අත් ඔසවා කැමැත්ත පළ කළ පුද්ගලයා නියෝජිතයා ලෙස තෝරා ගෙන ඇත
කළුතර දිස්ත්‍රික්කයේ ගම්කාර්ය සභා පිහිටුවා තිබෙන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පලාත් පාලන ඇමතිවරයාව සිටියදීය. 1940 දී වැඩ බලන පලාත් පාලන අමාත්‍යවරයා වූ සිරිපාල සමරක්කොඩි මහතා විසින් බී 177/40 ගැසට් පත්‍රය මගින් ගම්සභා ආඥා පනත යටතේ අනුමත පලාත් පාලන ආයතන වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ කුඹුකේ පත්තු ගම්සභාව , උඩුගහපත්තු ගම් සභාව , මුංවත්තබාගේ පත්තු ගම්සභාව , අධිකාරිපත්තුව ගම්සභාව , කළුතර පයාගල සහ මග්ගොන්බද්ද ගම්සභාව , බේරුවල අලුත්ගම සහ මාලේවන්බද්ද ගම්සභාව , මිගම ඉත්තැපාන සහ වැලිපැන්න විදාන ආරච්චිගේ ගම්සභාව , හොරවල දොඩන්ගොඩ සහ මතුගම විදානආරච්චිගේ ගම්සභාව , ගගබඩපත්තුව හෙවත් මහපත්තු ගම්සභාව වශයෙන් නම් කර බලතල පැවරීම් සිදුකර තිබේ.

කුඹුක පත්තුව ගම් කාර්ය සභාව

1930 දී පමණ පිහිටුවා ඇති කුඹුක ගම් කාර්ය සභාවේ කාර්යාලය පවත්වා ගෙන ගොස් ඇත්තේ ද කුඹුක දී මය. ඒ එය ආරම්භයේ දීම කුඹුක ප්‍රදේශයේ සභාපතිවරයෙකු පත්වීම නිසාය. කුඹුක ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල ටැංකිය පවතින ස්ථානයේ එම කාර්යාලය පැවති බව සදහන් වේ.
කුඹුක ගම් කාර්ය සභාවේ පළමු සභාපතිවරයාව සිට ඇත්තේ පිරීස් දැරණියගල මහතාය. එතුමා ගෝල බාලයින් විශාල පිරිසක් බිහි කළ සින්දුරන් වෙද මහතා යැයි හැදින්වූ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකි.
1933 දී පමණ පිටර් දැරණියගල මහතා සමග සභාපති පුටුවට සටන් වැදුන කුඹුක වලව්වේ දොන් ඇල්ප්‍රඩ් සමරනායක මුහන්දිරම් මහතා ඉන් ජය ගෙන දෙවන සභාපතිවරයා වශයෙන් පත්වී තිබේ. එතුමා 1933 සිට 1936 දක්වාත් 1936 සිට 1939 දක්වාත් දෙවරක් සභාපති තනතුර හොබවා තිබේ.
1939 දී තුන්වන සභාපතිවරයා වශයෙන් පත්ව ඇත්තේ කනන්විල කහටපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කොතලාවල මහතාය. ඒ මහතා විසින් සභා කාර්යාලය කනන්විලට ගෙන ගොස් තිබේ. කොතලාවල මහතාගේ ධූර කාලය කොපමණ දැයි නිශ්චිත නැත.
කුඹුක ගම් කාර්ය සභාවේ සිව්වැනි සභාපතිවරයා වශයෙන් 1948 දී පත්වන්නේ හර්බට් වික්‍රමසිංහ මහතාය. එතුමාගේ ධූර කාලය නිම කිරීමට ප්‍රථම ඉවත්වීමට සිදුවී ඇත.
ඒ නිසා පස්වන සභාපතිවරයා වශයෙන් පත්වන්නේ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාය. එතුමා පත්වන්නේ 1948 – 1951 යන වසර අතර කාලයක් විය යුතුය. නිශ්චිත වාර්තා නොමැත. කුඹුක පත්තු ගම්කාර්ය සභවේ වැඩිම කාලයක් සභාපති තනතුර දැරූ පුද්ගලයා වන්නේ ද හෙට්ටිආරච්චි මහතාය. එමෙන්ම ජීවිතුන් අතර සිටින එකම සභාපතිවරයාද එතුමාය. ඒ කාලය වසර 16 – 18 වන්නට ඇත. ඒ පිළිබද නිශ්චිත මතකයක් එතුමාටද නැති අතර. ලිඛිත සටහන්ද සොයා ගැනීමට නොහැකි විය.
ජාතික දේශපාලනයට එක්වීම සදහා හෙට්ටිආරච්චි මහතා තනතුරින් ඉවත් වූ පසු සභාපති තනතුරට පත්වන්නේ තලගල තිලකරත්ත (රජ්ජුරු) මහතාය. එතුමාට එම තනතුර දැරීමට හැකිවන්නේ හෙට්ටිආරච්චි මහතාගේ ඉතිරිව තිබූ වසරක පමණ සේවා කාලය පමණි.
කුඹුක ගම් කාර්ය සභාවේ අවසාන සභාපතිවරයා වන්නේ අධිනීතිඥ ගමගේ මැන්ඩිස් පෙරේරා මහතාය. 1968 සිට 1977 දක්වා සභාපති වරයා වූ එතුමා එම තනතුර දැරූ එතුමා ගම් සභාපතිවරයෙකු වූ එකම අධිනීතිඥ වරයාය. එමෙන්ම එතෙක් දක්ෂිණාංශික පාර්ශවයට හිමිව තිබූ ගම්කාර්ය සභාවේ බලය වාමාංශික පාර්ශවයට හිමිවන්නේ ද ජී.එම්. පෙරේරා මහතා පත්වීමත් සමගය. 1977 වසරේ ගම්කාර්ය සභා අහෝසි කරන ලදී.
කුඹුක ගම්කාර්ය සභාව නියෝජනය කළ නියෝජිතයින් ගේ නාම ලේඛනයක් ගැන තොරතුරක් නැත.

උඩුගහපත්තු ගම්කාර්ය සභාව

උඩුගහපත්තු ගම් සභාවේ රැස්වීම් ශාලාව තිබී ඇත්තේ මේ වන විට ඉංගිරිය ප්‍රාදේශීය සභා උපකාර්යාලය සහ ඉංගිරිය මහජන පුස්තකාලය පිහිටා තිබෙන භූමියේය. පැරණි ගොඩනැගිල්ල දැනටත් අබලන්ව පවතී. ගමේ සුළු ආරවුල් විසදීමද මෙහි සිදුවූ හෙයින් එයට ගම්සභා උසාවිය යැයිද ඇතැම්හු පවසති.
වගවත්ත කළුපහන ප්‍රදේශයේ පවතින වත්මන් උප කාර්යාල ගොඩනැගිල්ලට ගෙන ගිය කාලවකවානු පිළිබද තොරතුරු සොයා ගැනීමට නොහැකි විය. එසේ වුවද කාර්යාලය පිහිටුවීම සදහා ඉඩමක් ලබා ගැනීමට කළ සාකච්ඡාවක තොරතුරු 1958 නොවැම්බර් 29 දින පවත්වන ලද වාර්තාවක මෙසේ සදහන් වේ.
‘‘මෙම කාර්ය සභාවට කාර්යාල ගොඩනැගිල්ලක් තැනීම සදහා පානදුර – රත්නපුර ප්‍රධාන පාරට නුදුරුව කළුපහන තිබෙනා රජයේ ඉඩම ලබා ගැනීම ගැන සහකාර කොමසාරිස්තුමා දන්වා එවා තිබෙන පරිදි ඒ ගැන යෝජනාවක් සම්මත කිරීමට සභාවට දැන්වූ අවස්ථාවේදී එම කාර්යාල ගොඩනැගිල්ල හදපාන්ගොඩ කිරිගල මෙම කාර්ය සභාවට අයත් ඉඩමේ තැනිය යුතුයැයි ඩබ්.ඩබ්.ඩී. ජොහැන්නස් මහතා කළ යෝජනාව ජී.ඩී. අමරසිංහ මහතා ස්ථිර කරන ලදී. මෙම කාර්ය සභාවේ කෙළවරක පිහිටා තිබෙන කිරිගලට වඩා ඉහත කී කළුපහන පිහිටා තිබෙන රජයේ ඉඩම ලබා ගෙන කාර්යාල ගොඩනැගිල්ල තැනවිය යුතු යැයි ඩී.ඊ. අමරසේකර මහතා කළ යෝජනාව කේ.ඩී. ආබ්‍රහම් අප්පුහාමි මහතා ස්ථිර කරන ලදී. අපක්ෂපාතව සලකා බලන විට කාර්යාල ගොඩනැගිල්ල තැනවීම කිරිගලට වඩා කළුපහන තැනවීමෙන් පලාත්වාසීන්ගේ කටයුතු සදහා විශාල පහසුවක් ඇතිවන බැවින් කළුපහන රජයේ ඉඩමේ තැනවිය යුතු යැයි ජී.ඩී. ඩබිලියොන් සහ ඇන්. ජයසිංහ මහතුන් ප්‍රකාශ කරන ලදී. මෙම කාරණය ගැන දැනට යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙණා බැවින් ඒ ගැන සභාවේ ඡන්දය විමසන ලදින්,
කාර්යාල ගොඩනැගිල්ල කළුපහන ඉඩමේ තැනවිය යුතු යැයි යන අතුරු යෝජනාවට පක්ෂව ජී.ඩී. ඩබිලියොන් , ඇන්. ජයසිංහ , ඩී.පී. වීරකෝන් , එච්.ඩී. ඇඩ්වින් , එච්.ඩී. ඇල්මන් අබයරත්න , ජී.ඩී. මර්තේනිස් අප්පුහාමි , ජී.ඩී. කේ. ගුණරත්න , කේ.ඩී.ආර්. ගුණතිලක , ඩී.ඊ. අමරසේකර , ඇස්.ඩී. ගුණදාස , කේ.ඩී. ආබ්‍රහම් අප්පුහාමි , සහ ඩී.ඇල්. ජයකොඩි යන මහතුන් ද,
කාර්යාල ගොඩනැගිල්ල කිරිගල තැනවිය යුතු යැයි යන ප්‍රථම යෝජනාවට පක්ෂව ජී.ඩී. අමරසිංහ , ඩබ්.ඩබ්.ඩී. ජොහැන්නස් , ජී. රොබෝ සිංඤෝ , ඇම්. නෝමිස් සිංඤෝ , සහ කේ.ඩී. රොබෝ සිංඤෝ යන මහතුන් විය.
පී.ඩී.ඩී. චන්ද්‍රසේකර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී.
වැඩි පක්ෂයේ අදහස් අනුව කාර්යාල ගොඩනැගිල්ල කළුපහන තැනීමට කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරලයේ උඩුගහපත්තුවේ කළුපහන P.P. 19692 දරණ සැලැස්මේ පෙණෙන රජයේ ඉඩම් කැබැල්ල සහකාර පලාත් පාලන කොමසාරිස්තුමාගේ මාර්ගයෙන් ලබාගත යුතු යැයි සම්මතවිය.’’
රයිගම් උඩුගහපත්තු ගම්සභාවේ සිව්වෙනි සභා රැස්වීම පවත්වා ඇත්තේ 1930 ඔක්තෝබර් 03 වන දින බවට ලිඛිත සටහන් තිබේ. ඒ නිසා රයිගම් උඩුගහපත්තු ගම් කාර්ය සභාවද ඉහත දිනට සුළු කාලයකට පෙර ආරම්භ කරන්නට ඇති බව පැහැදිළිය. එහි පළමු සභාපතිවරයා වී ඇත්තේ ඩී.බී. වීරකෝන් මහතාය. (1930 දෙසැම්බර් වාර්තාවට අනුව)
දෙවන සභාපතිවරයාව සිට ඇත්තේ ඩී. ඇල්. ගුණතිලක මහතාය. ඒ මහතා ගේ ධූර කාලය පිළිබදව නිශ්චිත තොරතුරක් දැන ගැනීමට නොහැකිය. සමහරවිට 1955 දක්වාම එතුමා සභාපතිව සිටින්නට ඇතැයි සිතිය හැකි බව විශ්‍රාමික ගුරුවරයෙකු වන රත්මල්ගොඩ ජයතුංග මහතා පවසයි. ලේකම් ධූරය ජේ .ඩී . ඒ. වීරසේන මහතාද , උප ලේකම් ධූරය ඩී. එම්. අමරසිංහ මහතා ද දරා ඇත.
1955 -1957 වාර්තාවලට අනුව එම කාලයේ සභාපතිවරයාව සිට ඇත්තේ ඩී. එඩ්මන් අමරසේකර මහතාය. උප සභාපතිවරයාව සිට ඇත්තේ ඩී.එන්. වන්නිආරච්චි මහතාය.
1957 දී කේ.ඩී.එම්. ගුණතිලක මහතා සභාපති තනතුරට පත්ව ඇත. ඒ මහතා 1969 දක්වාම සභාපතිව සිට ඇත.
1969 සිට ගම්කාර්ය සභා අහෝසි කරන තුරුම සභාපතිව සිට ඇත්තේ තිලකරත්න මාතරආරච්චි මහතාය.
මේ අතර ඩබිලියොන් ගීකියනගේ සහ ඩී.ජේ. වැලිකල මහතා යන අයද මාරුවෙන් මාරුවට සභාපති ධූර දරා ඇති බවට අදහසක් විශ්‍රමික ගුරුවරයෙකු වන ජයතුංග මහතා ප්‍රකාශ කළද ඒ පිළිබද ලිඛිත සදහනක් නොමැත. අවසාන සභාපතිවරයා වී ඇත්තේ තිලකරත්න මාතර ආරච්චි මහතාය.
1930 ඔක්තෝබර් සිට 1932 ඔක්තෝබර් දක්වා වසර දෙකක කාලය තුල කලින් කලට පත්වී ඇති සභා නියෝජිතයින් මෙසේය.

1- ඩී.බී. වීරකෝන්(සභාපති)
2- ඩී.ඇල් .ගුණතිලක (සභාපති)
3- ජේ.ඩී.ඒ. වීරසේන
4- ඩී.එම්. අමරසිංහ
5- ආර්.ඩී. ජේමිස් අප්පුහාමි
6- ඩී.එස් අමරතුංග
7- එච්.ඩී. කරෝලිස් අප්පුහාමි
8- ජේ.ඩී. සුවාරිස්
9- කේ.ඩී. ජෝන් අප්පුහාමි (1931/03/07 අස්විය)
10- ඩබ්.ඩී.පී. අප්පුහාමි
11- දොන් සීමොන් වීරකොන්(1931/06/06 අස්විය)
12- කේ.ඩී.ආර්. ගුණතිලක
13- එම්. එස්. පෙරේරා
14- ඩී.එල්. වීරකෝන්
15- එච්.ඩී.පී. සිරිවර්ධන
16- එන්. සමාරිස් ප්‍රනාන්දු(1931/05/07 අස්විය)
17- එන්. සී. එප්. වික්‍රමරත්න(1932/09/03 අස්විය)
18- ජී.ඩී.එන්. ගුණරත්න(1931/08/01 අවලංගු විය)
19- ඩී.එස්. වීරකෝන් වික්‍රමරත්න
20- පී.ඩී. දියෙස් අප්පුහාමි(1931/03/07 අස්විය)
21- ඩී.ඒ. සමරආරච්චි
22- එච්.ඩී. ජෝන් සිල්වා(1932/03/05 අස්විය)
23- ඩී.ඊ. වැලිකල
24- ඩී.ජේ. එදිරිසිංහ
25- ජී. ඔබියෙස් පෙරේරා
26- පී.ඩී.එම්. අමරසේකර
27- ඩී.ඊ. අමරසේකර පැටිකිරි
28- ඩී.එම්. එදිරිසිංහ(1932/01/02 අස්විය)
29- එප්.ඩී.ඩබ්. සිරිවර්ධන(1931/07/04 අවලංගු විය)
30- බී.ඩී. කරෝලිස්(1931/11/07 අස්විය)
31- එල්.ඩී.එස්.ඩබ්. ආටිගල(1932/07/02 අස්විය)
32- ඩී.ඒ. අමරතුංග
33- ටී.ඩී. ධර්මදාස
34- ජේමිස් එදිරිසිංහ
35- දොන් දාවිත් ජයසිංහ
36- කේ.ඒ. පොඩිසිංඤෝ
37- ඩී.ඒ.එස්. වීරකෝන්(1931/05/07 අස්විය)
38- ඩී.එල්.දොන් තෝමස්(1931/06/06 අස්විය)
39- ඩී.එස්. රත්නතිලක
40- යූ.ඩී. එලියස්
41- ධර්මසිරි හරිස්චන්ද්‍ර
42- ඩී.ඩබ්. වීරක්කොඩි
43- එච්.ඩී. දාවිත් සිංඤෝ
44- එල්.ඩී. ඒබ්‍රහම්
45- එච්.ඩී.එම්. වික්‍රමරත්න
46- එස්.ජේ. ගුණසිංහ
47- බී. සුවාරිස් යන අය එසේ පත්ව සිටි අය වෙති.

1933 සිට 1936 දක්වා………….
1- ඩී.ඊ. අභයරත්න
2- ජී.කේ. පෙරේරා
3- එච්.ඩී.එම්. වික්‍රමරත්න
4- කේ.ඩී.ආර්. ගුණතිලක
5- බී. ලොකු සිංඤෝ
6- එච්.ඩී. දාවිත් සිංඤෝ
7- ඩී.එල්. ගුණතිලක
8- ඩී.සී. වීරකෝන්
9- ඩී.එල්. අමරසේකර
10- ඩී.ටී. ධර්මදාස
11- බී. සුවාරිස්
12- එම්.ටී. ප්‍රේමවර්ධන
13- බී.ඒ.ඩී. හරිශ්චන්ද්‍ර
14- ඊ.ඒ. මාටින් සිංඤෝ
15- ඩී.එස්. රත්නතිලක
16- එච්.ඩබ්. අමරසේකර
17- ටී.ආර්. පෙරේරා
18- ඩී.ඩබ්. වීරක්කොඩි
19- ඩී.ඩී. වික්‍රමආරච්චි
20- දොන් දාවිත් ජයසිංහ
21- ඩී.ඒ. වෙත්තසිංහ
22- ඒ. විලියම් රුද්‍රිගු
23- ඩී.ඩී. අභයරත්න
24- ජේ.ඩී. සුවාරිස්
25- එම්.එස්. පෙරේරා
26- ජී. සුබනේරිස්
27- ඩී.ඇල්. අමරසේකර
28- ජී.ඩී.එම්. අමරසේකර
29- එච්.ඩී. ජෝන් සිල්වා
30- කේ.ඒ. පොඩිසිංඤෝ
31- දොන් අප්පුසිංඤෝ වීරකෝන්
32- ජී.ඩී.ඊ. කරුණාසේකර
33- ආර් දොන් ජේමිස් අප්පුහාමි
නියෝජිතයින් 42 ක් සිටි බව සදහන් වෙතත් ඉතිරි 9 දෙනෙකුගේ නම් සොයා ගත නොහැකි විය.

1939 සිට 1955 දක්වා තොරතුරු වාර්තා නැත.

1955සිට 1957 දක්වා පවතින වාර්තා වලට එම කාල සීමාවේ සභාපතිවරයාව සිට ඇත්තේ ඩී. එඩ්මන් අමරසේකර මහතාය.
1-ඩී.එඩ්මන් වික්‍රමආරච්චි(සභාපති)
2- ඩී.එන්. වන්නි ආරච්චි (උප සභාපති)
3-එන්. ජයසිංහ
4-ජී.ඩී. සීමොන් සිංඤෝ
5-ජී.ඩී.එල්. ජයකොඩි
6-ඩබ්.එම්.පී. ධර්මගුණවර්ධන
7-ජී.ඩී.ඩබ්. ලියොන්
8- පී.ඒ.ඩී. පියසීලි
9- ජේ.ඩී. විජේවර්ධන
10- එච්.ඩී. ඇල්බින් සිංඤෝ
11-කේ.ඩී. ඒබ්‍රහම් අප්පුහාමි
12- පී.ඩී. ලුවිස් සිංඤෝ
13- ඩී.ඇල්. ජයකොඩ්
14- වයි.ඩී. ඒබ්‍රහම්
15- එම්.ඩී. ප්‍රේමදාස
16- පී.ඩී.සී. චන්ද්‍රසේකර
17- ඩී.එල්. චන්ද්‍රපාල
18- කේ.ඩී.එම්. ගුණතිලක
19- සෙනරත් ගුණසේකර
20- එච්.ඒ. වීරසිංහ
21- ජී.ඩබ්. ඩබිලියොන් යන මහත්ම මහත්මීන් නියෝජිතවරුන් වශයෙන් කටයුතු කර ඇත.

1957 ඔක්තෝබර් මාසයේ දී පවත්වන ලද ඡන්දයෙන්
පසුගිය වාරයේ සිටි එන්. ජයසිංහ , පී.ඒ.ඩී. පියසීලි , එඩ්මන් අමරසේකර , කේ.ඩී. ඒබ්‍රහම් අප්පුහාමි , ඩී.ඇල්. ජයකොඩි ,පී.ඩී.ඩී. චන්ද්‍රසේකර , කේ.ඩී.එම්. ගුණතිලක, ජී.ඩී. ඩබිලියන් යන නියෝජිතයින් නැවත පත්වී ඇත. එවර අලුතෙන් පත්වී ඇති ඇත්තේ
1- එච්.ඩී. ඇල්මන් අභයරත්න
2- එන්. ජයසිංහ
3- පී.ඒ.ඩී. පියසීලි
4- එඩ්මන් අමරසේකර
5- කේ.ඩී.ඒබ්‍රහම් අප්පුහාමි
6- ඩී.එල්. ජයකොඩි
7- පී.ඩී.ඩී. චන්ද්‍රසේකර
8- කේ.ඩී.එම්. ගුණතිලක
9- ජී.ඩී. ඩබිලියොන්
10- ඩී.පී. වීරකෝන්
11- එච්.ඩී. එඩ්වින් සිංඤෝ
12- පී. මර්තේනිස් අප්පුහාමි
13- ජී.ඩී. අමරසිංහ
14- ඩබ්.ඩබ්.ඩී. ජොහැන්නස්
15- එස්.ඩී. හෙන්ද්‍රික් අප්පුහාමි
16- එස්.ඩී. ගුණදාස
17- එම්. නෝමිස් සිංඤෝ
18- බී. මුනිදාස වික්‍රමනායක
19- කේ.ඩී. රොබෝ සිංඤෝ
20- ජී.ඩී. කිරිනේලිස්
21- ජී.ඩී.කේ. ගුණරත්න
22- ජී.රොබෝ සිංඤෝ යන අයවලුන් ය.
මෙම නියෝජිතයින් 1960.02.03 දින දක්වා නියෝජිත ධූර දරා ඇත.

1964 .03. 28 රයිගම් උඩුගහපත්තු ගම් කාර්ය සභාවේ නියෝජිතයින් මෙසේය.
1- ඩී.එම්. ගුණතිලක (සභාපති)
2- එච්.ඩී.ඊ. අබේරත්න
3- ඩී.පී. වීරකෝන්
4- පී.ඩී.ඩී. චන්ද්‍රසේකර
5- එස්. සුරබියෙල්
6- ජී. අමරදාස
7- ජී.සී. ප්‍රේමවර්ධන
8- ජී.ඩී.ලුවිස් සිංඤෝ
9- ජේ.ඩී. සිරිසේන
10- ඩී.එල්. ජයකොඩි
11- ජේ. ධර්මදාස
12- ඩබ්. මෙතියස් සිංඤෝ
13- ජී.මොතියස් සිංඤෝ
14- ජී.ඩී.කේ. ගුණරත්න

1969 රයිගම් උඩුගහපත්තු අවසන් ගම් කාර්ය සභාවේ නියෝජිතයින් මෙසේය.
1- තිලකරත්න මාතරආරච්චි – සභාපති (ගුරුගොඩ)
2- ජේමිස් හපුආරච්චි (මියනපලාන)
3- පේමදාස (වගවත්ත)
4- පොරෝලිස් වීරකෝන් (රත්මල්ගොඩ)
5- ගුණතිලක (පෝරුවදණ්ඩ)
6- එම්.ඩී. රෝමානිස් (මාපුටුගල)
7- පී.ඩී. කරුණාරත්න (පනංගල)
8- හේරත් කහවල (ඉංගිරිය-දකුණ)
9- ආනන්ද රණතුංග (ඉංගිරිය-උතුර)
10- සිරිමාන්න රණවීර (හදපාන්ගොඩ)
11- තේමිස් …………..(අරකවිල)
12- මෙතියස් ඇලපාත (කදනපිටිය)
13- විජේවර්ධන (මෙනේරිගම)
14- අබේපාල (මිල්ලෑව)
15- සයිමන් වීරක්කොඩි (කිදෙල්පිටිය)
16- රොමියෙල් (කොටිගම්ගොඩ)
17- සිරිවර්ධන (හාන්දුපැල්පොල)
18- ඩබිලියොන් ගීකියනගේ (දඹර)
19- ඩී.ජේ. වැලිකල(බබා මහතා) (බටුගම්පල)

1972 .මාර්තු 29 දින සභා රැස්වීමට සහභාගි වී ඇති නියෝජිතයින් මෙසේය.
1- තිලකරත්න මාතරආරච්චි (සභාපති)-(ගුරුගොඩ)
2- ඩී.එම්. ගුණතිලක (කළුපහන)
3- එම්.ඩී. රෝමානිස් සිංඤෝ (මාපුටුගල)
4- එස්. දාවිත් සිංඤෝ (නම්බපාන)
5- ආනන්ද රණතුංග (ඉංගිරිය-උතුර)
6- කේ. කේ. හේරැස් සිංඤෝ (ඉංගිරිය-දකුණ)
7- ඩී.ජේ. වැලිකල (බටුගම්පල)
8- සිරිමාන්න රණවීර (හදපාන්ගොඩ)
9- කේ.ඒ. ජේමිස් සිංඤෝ (අරකවිල)

ඉහත සදහන් නියෝජිතයින්ගේ නම් සහ වාසගම් විවිධ තැන්වල වෙනස් අයුරින් සදහන් වී තිබූ අවස්ථා තිබිණි.
1981 දක්වා ලංකාව පුරා පැවති සුළු නගර සභා (83) සහ ගම්සභා (549) අහෝසි කොට 1980 අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන පනත මගින් 1981 ජූලි මාසයේදී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. කළුතර දිස්ත්‍රික්කයේ ගම්සභා සහ සුළු නගර සභා 24 ක් තිබිණි. එයින් 6 ක් සුළු නගර සභා වූ අතර ඉතිරිය ගම්සභා විය. ඒ 24 ම එකතුකොට කළුතර දිස්ත්‍රික් සංවර්ධන සභාව ඇති කරන ලදී. ඒ සමග එතෙක් පැවති සුළු නගර සභා සහ ගම් කාර්ය සභා සංවර්ධන සභා උප කාර්යාල බවට පත් විය.
1981 දී කළුතර දිස්ත්‍රික්යේ පිහිටුවන ලද දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා වූයේ අධිනීතිඥ බන්දුල ජයසිංහ මහතාය. උප සභාපති වූයේ ඉමිතියාස් බාකීර් මහතාය. සංවර්ධන මන්ත්‍රීවරුන් වූයේ බේරුවල – ඉමිතියාස් බාකීර් මාකර් , හොරණ – වෑවත්තගේ , වලල්ලාවිට – හෙන්රි ජයවර්ධන , බේරුවල – ජෙමිල් හාජ්ජියාර් සහ මතුගම – නයනසිරි යන මහත්වරුන්ය.
විධායක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය. එහි දිසා ඇමති වූයේ හොරණ ආසනය නියෝජනය කළ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාය. මන්ත්‍රීවරුන් වූයේ එම්.ඒ. බාකීර් මාකර් (……………) , වී. එල්. විජේමාන්න (කළුතර) , නෙවිල් ප්‍රනාන්දු (පානදුර) , රාජා සමරනායක (බණ්ඩාරගම) , ආර්. ජී. සමරනායක (බේරුවල) , රෙජිනෝලඩ් විජේගුණරත්න (මතුගම) , මෙරිල් කාරියවසම් (අගලවත්ත) , සරත් රණවක (රණවක) යන මන්ත්‍රීවරුන්ය.
එහෙත් සංවර්ධන සභා ක්‍රමය තුළ මහජන නියෝජනයක් නොමැති වීම සහ උප කාර්යාල වලින් සිදු වූ සේවාව ප්‍රමාණවත් නොවීම නිසා1987 අංක 15 දරණ ප්‍රාදේශී සභා පනත අනුව 1988 .01.01 දින සිට එවකට පැවති එක් ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයකට එක බැගින් වනසේ ප්‍රාදේශීය සභා පිහිටුවන ලදී. (එම උප දිසාපති කොට්ඨාශ අද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වශයෙන් හදුන්වනු ලැබේ.) එසේ පිහිටුවන ලද ප්‍රදේශීය සභාවල අධීක්ෂණය සහ පරිපාලනය 1988 දී පිහිටුවන ලද පලාත් සභා යටතට පවරන ලදී.
මෙම ප්‍රාදේශීය සභා 1988 සිට විශේෂ කොමසාරිස් පාලනය යටතේ පැවති අතර 1989 සිට 1991 දක්වා බලය ලත් නිලධාරින් හා විශේෂ කොමසාරිස්වරුන් යටතේ පාලනය විය. 1991 දී පළමු ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වා මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සිදු කර ඇත.

සැකසුම – නන්දසේන උඩුගම