ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ව්‍යුහය

ශ‍්‍රී ලංකාවේ පාලනය ජාතික, පළාත් හා ප‍්‍රාදේශීය මට්ටම් වලදී සිදු කෙරෙන්නේ පිළිවෙලින් විධායක ජනාධිපති ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මගිනි.

පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතනයක් අවිච්ඡින්න පැවැත්මක් ඇති නෛතික පුද්ගලයෙකි. පළාත් පාලනය යනු ශ‍්‍රී ලාංකිකයන්ට ආගන්තුක පාලන රටාවක් නොවේ. එය දකුණු ආසියාවට ම පොදු වූ උරුමයකි. පංචායත් හා මණ්ඩලේ වැනි ගම් ඉලක්ක කරගත් පාලන ව්‍යුහයන් ඉන්දියාව හා නේපාලය වැනි දකුණු ආසියාතික රාජ්‍යයන් හි පැවැතියා සේම, ගම කේන්ද්‍රකර ගත් පාලන රටාවක් සියවස් ගණනාවකට පෙර සිට ම මෙරටේ පැවතිණි. මෙරට මේ (2016) වන විට පළාත් පාලන ආයතන 335ක් තිබෙන අතර ඒවා වර්ග තුනක් යටතේ සංවිධානය කොට ඇත. එනම්, මහ නගර සභා,නගර සභා සහ ප‍්‍රාදේශීය සභා ලෙසිනි.

මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පළාත් පාලනය යනු පළාත් සභාව යටතේ පවත්නා විෂයයක් හා කාර්යයකි.

පහත දැක්වෙන්නේ මේ රටේ ජනගහනයට අනුව වර්තමානයේ පළාත් පාලන ආයතන බෙදී ඇති අයුරුය.

ප‍්‍රාදේශීය සභා ක‍්‍රමවේදය

පළාත් පාලන ආයතනවල සීමාවන්, මහජන ඡුන්දයෙන් පත්කර ගන්නා මන්තී‍්‍රන් සංඛ්‍යාව සහ කි‍්‍රයාත්මක වන දිනය ආදිය රේඛීය අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කරයි. සභිකයින් (මන්තී‍්‍රවරුන්) පත් කරන්නේ මහජන ඡන්දයෙනි. සභිකයින් (මන්තී‍්‍රවරුන්) ගෙන් එක් අයෙකු සභාපති හා තවත් අයෙකු උප සභාපති වශයෙන් පත් කර ගැනේ.

ප‍්‍රාදේශීය සභාවේ කාර්යය හා වගකීම්

පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ උත්තරීතර ආයතනය වන්නේ සභාවයි. සභාව සකස් වන්නේ සභාපති, උප සභාපති හා සභික (මන්තී‍්‍ර) මණ්ඩලය වශයෙනි. සභාවක කි‍්‍රයාකාරීත්වය රඳා පවතින්නේ එය විසින් ගන්නා තීරණ හා ඒවා කි‍්‍රයාවට නැංවීම මතයි. ඒ නිසා සභාවක සභාපතිවරයා දක්‍ෂ කළමනාකරුවකු ද විය යුතුය.

ප‍්‍රාදේශීය සභා ගැන සැළකීමේ දී 1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනතින් පැවරී ඇති විධිවිධාන කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රාදේශීය සභාවේ කාර්යය වේ. ඒ අනුව ප‍්‍රාදේශීය සභාව ක‍්‍රියා කළ යුත්තේ පහත දැක්වෙන පරිදි ය.

  • නීතියෙන් සභාවට පැවරී ඇති කාර්යයන් (Duties) පමණක් ඉටු කිරීම.
  • ප‍්‍රාදේශීය සභා ව්‍යුහය තුළ කි‍්‍රයාත්මක වීමට ඇති අතුරු නීති, අණ පනත් හා ප‍්‍රඥප්ති ගැනත්,පැවරෙන බලතල, කාර්ය පටිපාටිය හා සභාවේ සම්පත් ඵලදායී ලෙස යොදවා ගැනීම ගැනත් අවබෝධයකින් කටයුතු කිරීම.
  • අමාත්‍යවරයා විසින් පනවා ඇති 1988 මූල්‍ය පරිපාලන රීති හා සම්මත අතුරු ව්‍යවස්ථා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම.
  • පනතේ 122 හා 126 වගන්ති මගින් අතුරු ව්‍යවස්ථා සැකසීමට බලය ලැබී ඇති නිසා ප‍්‍රදේශයේ අවශ්‍යතා අනුව ඒවා සකසා සම්මත කර ගැනීම.
  • ප‍්‍රදේශයේ ජනතාවට ඵලදායී සංවර්ධන යෝජනා කි‍්‍රයාත්මක කිරීම.
  • ප‍්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය පිණිස පහසුකම් ප‍්‍රවර්ධනය, සේවාවන් විධිමත් කිරීම හා පාලනය කිරීම සිදු කිරීමේ දී නීත්‍යනුකූලව, අර්ථවතව් හා බහුතර කැමැත්ත මත කි‍්‍රයා කිරීම.

ප්‍රාදේශීය සභාවේ කාර්ය භාරය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළය ආගමික, සංස්කෘතික, සමාජයීය හා සාහිත්‍යමය උරුමයන්ගෙන් අභිමානවත් වූවෝ වෙමු. එකී උරුමයන් රැක ගැනීම හා පෝෂණය කිරීමට අප බැඳී සිටින අතර, හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය කර පෝෂණය කිරීම, පරිසරය දූෂණය අවම කිරීම හා පොදු පීඩා ඇති නොවන පරිදි සංරක්ෂණයන් කිරීම, පොදු ජනතාවට අවශ්‍ය වන නිවාස, මංමාවත්, ජල සම්පාදනය ඇතුළුව පුද්ගල අවශ්‍යතා පෙරදැරි කොට ගෙන කෙනෙකු මව් කුසේ සිට සොහොන්බිම දක්වා යන ගමනේ දී අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැපයීම මඟින් නිරෝගී නිරවුල් මනසක් ඇති ජනතාවක් බිහිකරමින් ඔවුන්ට සුවසේ ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය සකස් කොට ඔවුන්ගේ බුද්ධිය හා ශ්‍රමය උපයෝගී කර ගනිමින් බල ප්‍රදේශය විධිමත් සංවර්ධනයක් කරා ජනතා සහභාගීත්වය ඇති ව ඉදිරියට ගෙන යාම කෙරෙහි හොරණ ප්‍රාදේශීය සභාව බැඳී සිටින්නීය.

ඉහත මෙහෙවර පෙරදැරි කරගෙන පැමිණෙන මහජනතාවගේ අවශ්‍යතා උපරිම අයුරින් ඉටු කිරීම හා ඔවුන් තෘප්තිමත් වන අයුරින් කැපවී ක්‍රියා කිරීම, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා, මහජන පුස්තකාල පහසුකම් ලබා දීම මඟින් ජනතාවට උපරිම සේවාවක් සැපයීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හා එක්ව සහයෝගයෙන් කටයුතු කරමින් අවශ්‍ය පහසුකම් ලබා දෙමින් වසංගත රෝග, බෝ නොවන රෝග මර්දනයට හා නිවාරණයට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

කසල කළමනාකරණය සඳහා නව තාක්ෂණික උපකරණ හා ක්‍රම භාවිතය, සභාව වෙත පැවරී ඇති හා අත්පත් කර ගෙන ඇති ඉඩම් හා වෙනත් දේපළ නිරවුල් කර ගැනීමට කටයුතු කිරීම, පොදු මංමාවත්, පාලම්, බෝක්කු පිළිසකර කිරීම, වීථි පහන් නඩත්තුව, පොදු ළිං අළුත්වැඩියාව, ළදරු පාසල්, ක්‍රීඩා පිට්ටනි හා ප්‍රජා ශාලා නඩත්තුව, ආපදා කළමනාකරණය, දිළිඳුකම පිටු දැකීම, සාහිත්‍ය කලාව ප්‍රවර්ධන කිරීම අප ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අතර වේ.