1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියලු මහඡන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැදී සිටී. මෙම බද්ද සියලු සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල ඇතුලත් වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සදහා වන දර්ශනයන් හැර සෙසු සියලු සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.
Introduction
බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත සිදු කරනු ලබන යම් විනෝද කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළු කර ගැනීමට නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයකට සමාන මුදල් ප්‍රමාණයක් විනෝද බද්ද වශයෙන් නියම කර අය කර ගැනීමට පළාත් පාලන ආයතනවලට විනෝද බදු ආඥාපනතෙන් නෛතික බලය පවරා දී ඇත. මේ යටතේ පළාත් පාලන ආයතනයක් විසින් අය කිරීමට තීරණය කොට නියම කරන ලද විනෝද බද්ද අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ දින සිට ක්‍රියාත්මක වේ. එසේ වුව ද පහත සඳහන් විනෝද කාර්යයන් එකී විනෝද බද්දට යටත් නොවනු ඇත.
(අ) සන්නද්ධ හමුදාවල (යුධ, නාවික හෝ ගුවන්) සාමාජිකයන්ගේ හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා පවත්වනු ලබන විනෝද සංදර්ශන.
(ආ) කිසියම් ආධුනිකයකු විසින් යම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් තුළ පවත්වනු ලබන ඔහුගේ මුල් ප්‍රසංග දහය.
(ඇ) වේදිකා නාට්‍ය හෝ රූකඩ සංදර්ශන.
සටහන: 1. කිසියම් විනෝද කාර්යයක් පවත්වනු ලබන ස්ථානයට ප්‍රවේශ වීමට සහ ඇතුළත කෙරෙන විනෝද කාර්යය සඳහා වෙන වෙනම ගාස්තු අය කරනු ලබන විටක දී, ඒ සෑම අය කිරීමක් ම විනෝද බද්දට යටත් වනු ඇත.
2. කිසියම් විනෝද කාර්යයක් සඳහා මුද්‍රණය කරන ලද ප්‍රවේශ පත්‍ර නොමැති ව අන්තර්ජාලය ඔස්සේ මාර්ග ගත ව හෝ වෙනත් යම් ආකාරයකින් ගාස්තු අය කරනු ලබන අවස්ථාවක දී ද, අය කර ගත් මුදලට සරිලන අනුපාතය මත එකී විනෝද බද්ද ගෙවිය යුතු ය.
3. තමන් විසින් ම ක්‍රියා කරන හෝ ක්‍රියා කරවන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රියාකාරකමකින් විනෝද වීමේ අවස්ථාවක, ඒ සඳහා ගාස්තු අය කරනු ලබන්නේ නම්, එසේ අය කරනු ලබන ගාස්තුව ද විනෝද බද්දට යටත් වනු ඇත.
4. ඉහත සඳහන් කිසියම් ආධුනිකයකු විසින්, ඔහුගේ පදිංචි ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ නම්, ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා විසින් ද, නැතහොත් වෙනත් යම් ප්‍රදේශයක පදිංචි තැනැත්තෙකු නම් ඔහු පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ද නිකුත් කරනු ලබන සහතිකයක් මගින් ඔහු ආධුනිකයකු බව සහ ඔහු විසින් මෙතෙක් පවත්වන ලද ප්‍රසංග වාර ගණන දහයක් ඉක්මවා නොමැති බවට තහවුරු කළ යුතු ය.
නෛතික අධිකාරිය
267 වන අධිකාරය වන විනෝද බදු ආඥාපනත.



