පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් තුළ කෙරෙන කවර හෝ ආකාරයක ඉදි කිරීමක් සඳහා හෝ ඉඩම් අනු බෙදීමක් සඳහා නිකුත් කළ ඉදිකිරීම් බලපත්‍රයක හෝ සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය එක් වසරකට පමණක් සීමාවේ. එම බලපත්‍රයේ වලංගු කාලය ඇතුළත අදාළ ඉදිකිරීම හෝ සංවර්ධන කාර්යය අවසන් කර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය.
ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් නියම කර අය කර ගනු ලබන වරිපනම් හෝ ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගනු ලබන අක්කර බදු කාර්යය සඳහා අවස්ථාවෝචිත පරිදි යම් දේපළක වාර්ෂික වටිනාකම් තීරණය කිරීම හෝ යම් ඉඩමක විශාලත්වය තක්සේරු කිරීම සඳහා ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි සියලු දේපළ පිළිබඳ තොරතුරු ලේඛන ගත කර පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
එසේම, ඒ යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු නිශ්චිතව දැන ගෙන සිටීම මේ කාර්යය තවදුරටත් පහසු කරනු ඇති අතර එම යම් දේපළක් සම්බන්ධයෙන් තැනැත්තන් පළාත් පාලන ආයතනය සමග කටයුතු කිරීමේ දී ඒ දේපළවල අයිතිය පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම දෙපාර්ශවයට ම පහසු වේ. මෙම දේපළවල අයිතිය ඇතැම් අවස්ථාවල දී හුවමාරු වන බැවින් එසේ අයිතිය වෙනස් වූ විට, ඒ පිළිබඳ වෙනස් වීම ද පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම ඉහත ආකාරයෙන් ම වැදගත් වේ.