හොරණ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන අංශ

  • ආයතන අංශය

  • සංවර්ධන අංශය

  • ප්‍රජා සංවර්ධන අංශය

  • ගිණුම් හා ආදායම් අංශය

ආයතන අංශය

ආයතනයේ පරිපාලන හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කටයුතු මෙහෙය වීම ආයතන අංශය මගින් සිදු කෙරේ. සංවිධාන ව්‍යුහයේ ධුරාවලිය අනුව වගකීම් බෙදී යාම, රාජකාරි පැවරීම්, නව බඳවා ගැනීම්, විශ්‍රාමයාම්, ස්ථාන මාරු, පෞද්ගලික ලිපි ගොනු, වැටුප්, නිවාඩු ආදී කාර්යයන් රැසක් ඉටු කිරීම ආයතන අංශය මගින් සිදු වේ.

ඉහළ සේවා සම්පාදනයක් සඳහා වගකීම් ප්‍රශස්ත මට්ටමින් දැරීමේ හැකියාව හා දැනුම යාවත්කාලීන කිරීමට පුහුණු වැඩ සටහන් පැවත්වීමත්, සේවක ඇගයීම් හා සේවක විනය පවත්වා ගෙන යාමත් පිණිස පියවර ගැනීමට ආයතන අංශය මගින් සිදු කළ යුතුව ඇත.

මව් ආයතනයේ සිට බල ප්‍රදේශය පුරා විසිරී ඇති සෙසු ශාඛා ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් මානව සම්පත සේවා ගත කිරීමේ පුළුල් ක්‍රියාදාමය හැසිරවීම ආයතන අංශය මගින් සිදු කෙරෙනු ඇත.

සංවර්ධන අංශය

හොරණ ප්‍රාදේශීය සභාව ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කරනු පිණිස බල ප්‍රදේශය පුරා භෞතික සංවර්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරන ලදී. ඒ අනුව අවම පිරිවැයක් යටතේ ප්‍රශස්ත ප්‍රමිතියකින් ඵලදායී සේවාවක් ජනතාව වෙත ලබා දීමට ඍජු ශ්‍රමික පදනමින් බහුතර ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කරන ලදී. මෙහි දී 2022 වසර තුළ බල ප්‍රදේශයේ සිදු කළ සමස්ත කර්මාන්ත වෙනුවෙන් වැය කළ සභා අරමුදල්වල වටිනාකම රු. 28,555,812.00 කි. සභා අරමුදලින් පසුගිය වසරේ ගොඩනැගිලි ඉදි කිරීම්, මාර්ග සංවර්ධනය ආදී ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇත.

සභා කර්මාන්ත හැරුණු විට පළාත් සභා ව්‍යාපෘති යටතේ රු. 4,857,983.97ක් වැය කරමින් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් 2022 වර්ෂයේ හොරණ ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක බලධාරීත්වය ඇතිව සිදු කර අවසන්ව ඇත.

මෙම අංශය තුළින් පොදු ඉඩම්, සුසාන භූමි, පොදු ළිං, පොදු ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ලබා දීම, මහජන පැමිණිලි, අනතුරුදායක ගස් පිළිබඳ තීරණ ගැනීම, ව්‍යාපෘති ප්‍රගතිය වාර්තා කිරීම යන කාර්යයන් ඉටු කරනු ලබයි.

රජය විසින් පනවන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 හි 03 හි සදහන් වියදම් දැරීමේදී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ද අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියට යටත්ව හා 2022.09.27 දිනැතිව නිකුත් කරන ලද PL/7/10/7 – තාව යොමු අංකය වන සංශෝධිත චක්‍රලේඛයට ද අනුගත වෙමින් ජනහිතකාමී කාර්යක්ෂම සේවාවක් වෙනුවෙන් අත්‍යාවශ්‍යම ව්‍යාපෘති පමණක් මෙම වර්ෂයේදී සිදු කරන ලදී .
ඒ අනුව පහත ලෙස ව්‍යාපෘති හා නඩත්තු කටයුතු දැක්විය හැක.
1. සභා ව්‍යාපෘති
2. පළාත් සභා ව්‍යාපෘති
3. පෙරමුසු / හියුම් පයිප්ප යොදා මාර්ග නඩත්තු කිරීම

ප්‍රජා සංවර්ධන අංශය

හොරණ ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන අංශය, බල ප්‍රදේශයේ ප්‍රජාවගේ සුබ සාධනය ඇති කිරීම පිණිස සංවිධානය වූ අයිතමයන්ගෙන් සමන්විතව ඇති ඒකකයකි. එනම් ආයුර්වේද, පුස්තකාල, පෙර පාසල්, කසළ කළමනාකරණය, ප්‍රජා ශාලා හා ප්‍රජා මණ්ඩල, ආගමික හා සංස්කෘතික උත්සව, පරිසර බලපත්‍ර හා පරිසර පැමිණිලි, පරිසර සංරක්ෂණ ක්‍රියාකාරකම්, ඇතුළු ප්‍රජාව සමග සිදු කෙරෙන සියලු සුබ සාධන වැඩසටහන් මෙම අංශය මගින් සිදු කෙරේ.

ඒ අනුව 2022 වසරේ ප්‍රජා සංවර්ධන අංශය මගින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 88 ක් පුරා ඉහත කටයුතු සම්බන්ධයෙන් සිදු කළ කාර්යය භාරය පිළිබඳ මෙමගින් ඉදිරිපත් කෙරේ. ඒ අනුව බල ප්‍රදේශයේ ජන ජීවිතයට බලපාන පරිසර ගැටළු, ඩෙංගු වැනි මාරාන්තික රෝග පාලනය සඳහා විවිධ උපාය මාර්ග පසුගිය 2022 වසර තුළ විශේෂයෙන් ක්‍රියාත්මක කරන ලදි.

වර්ෂාවසාන පෙර පාසල් උත්සවය, පුහුණු වැඩසටහන් මෙන්ම පුස්තකාල ව්‍යාප්ත සේවා යටතේ මහජනතාව ඉලක්ක කර ගත් කටයුතු රැසක් ක්‍රියාවට නංවන ලදි.

ගිණුම් හා ආදායම් අංශය

පළාත් පාලන ආයතනයේ යාන්ත්‍රණය සක්‍රීයව පවත්වාගෙන යාම උදෙසා වැදගත් වන අංශය ගිණුම් අංශය වේ. ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්පාදනය, ගිණුම් වාර්තා පවත්වා ගෙන යාම, භාණ්ඩ සමීක්ෂණ කටයුතු ඇතුළුව සභාවේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ගිණුම් අංශයේ කාර්යයයි.

සභාව මගින් උපයන බදු ආදායම මගින් මහජනතාව වෙත සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ අත්කර දෙමින් බල ප්‍රදේශය තුළ සංවර්ධන හා සුබ සාධක ක්‍රියාවලිය මෙහෙයවන්නට මූල්‍ය කටයුතු හැසිරවීම ගිණුම් අංශය සිදු කරයි. ආදායම් සහ වියදම් තුලනය කර ගනිමින් යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වාගෙන යාමට ගිණුම් අංශය නිරතුරුව අපේක්ෂා කරයි.